ලංකාවෙ අංක

- මුලින්ම අපිටම කියලා අංකයක් ලැබෙන්නේ අපේ උප්පැන්න සහතිකයට. Birth Certificate Number . - ඉන්පසුව පාසලට ඇතුල්වීමේ දී ලැබෙන ඇතුළුවීමේ අංකය. School Admission Number - ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියොත් ලැබෙන විභාග අංකය. Exam Number - සා . පෙළ . විභාගයට පෙනී සිටීම සඳහා තැපැල් අයදුම් පතක් ලබා ගැනීමේදී ලැබෙන තැපැල් හැඳුනුම්පත් අංකය. Postal Identify Card Number - සාමාන්‍ය පෙළ විභාග අංකය සහ උසස් පෙළ විභාග අංකය . Exam Number - වැඩිහිටි හැඳුනුම්පතක් ලබා ගැනීමේදී ලැබෙන ජාතික හැඳුනුම්පත් අංකය. National Identify Card Number - රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී ලැබෙන රියදුරු බලපත්‍ර අංකය . Driving Licence Number - විශ්ව විද්‍යාලයකට හෝ වෙන්නත් රජයේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමේදී ලැබෙන ඇතුළුවීමේ අංකය Admission Number - රැකියාවක් ආරම්භ කිරීමේදී ලැබෙන එකිනෙකට වෙනස් EPF සහ ETF අංක. - අවුරුදු 18 ට වැඩි සියලු දෙනා වෙනුවෙන් ඉතා මෑතකදී නිකුත් කරන TIN අංකය හෙවත් Tax Identification Number - මේ සියල්ල අවසානයේදී ලැබෙන අපට දැක ගත නොහැකි වන මරණ සහතික පතේ අංකය. Death Certificate Number ඉහත සඳහන් සියලුම අංක එකම පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා එකම රටක් තුල භාවිතා කරන අතර ඒවා එකිනෙකට වෙනස් මෙන්ම කිසිවෙකුට මතක තබා ගැනීමට ද හැකියාවක් නැත. මේ වනවිට ඔබ ඔබගේ නම ගම ලිපිනය කොපමණ ෆෝම් කොළ ප්‍රමාණයක කී වතාවක්නම් ලියන්නට ඇත්ද. එමෙන්ම මේ වනවිටත් රජය විසින් ෆෝම් කොළ මිලියන ගණනක් මුද්‍රණය කරමින් එකම දත්ත නැවත නැවත එක් එක් ආකාරයෙන් එකතු කරයි. ඇත්තටම අපිට බැරිද මෙහෙම කරන්න. - දරුවකු උපත ලබා රෝහලෙන් පිටවන අවස්ථාවේදීම අවුරුදු 18 දී ලබාදෙන ජාතික ඇඳුනුම්පත් අංකයම ලබාදී එහි V අකුර වෙනුවට B අකුර සඳහන් කළ හැකිය. එම අංකය තුළින්ම දරුවාගේ උපන්දිනය සහ ගැහැණු ද පිරිමිද යන්නද හඳුනා ගැනීමට හැකියාවක් ඇත. - දරුවා පාසලට ඇතුළත් කිරීමේදී ද ඉහත අංකයම ඇතුළත් වීමේ අංකය ලෙස භාවිතා කළ හැකිය. - එම අංකයම ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍ය පෙළ විභාගය උසස් පෙළ විභාගයේ Exam Numbers සඳහාද භාවිතා කළ හැකිය. අවශ්‍යනම් B අකුර වෙනුවට E යොදා සියලුම් විභාග සදහාද භාවිතා කල හැකිය. - තැපැල් හැඳුනුම්පත සඳහාද එම අංකයම කිසිදු බාධාවකින් තොරව භාවිතා කළ හැක. ලිපිනය වෙනස් වී නැත්නම් අලුතින් එකතු කල යුත්තේ චායාරූපයක් පමණි - වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් පසු ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේදී B අකුර වෙනුවට V අකුර යොදා ජාතික හැඳුනුම්පත් අංකය නිකුත් කළ හැකිය. මෙම අවස්ථාවේදී ලබා ගන්නා පැහැදිලි ඡායාරූපයක් සහ ඇඟිලි සලකුණු පෙර දත්ත ගබඩාවටම එකතු කළ හැකිය - එමෙන්ම V අකුර වෙනුවට D අකුර යොදා රියදුරු බලපත්‍රය නිකුත් කළ හැකිය. - එම අංකයේම V අකුර වෙනුවට EPF සහ ETF යොදා අදාළ අරමුදල් සඳහා ලියාපදිංචි විය හැකිය. - මෙම හැඳුනුම්පත් අංකයේම V අකුර වෙනුවට T අකුර යොදා TIN නම්බර් එක සාදාගත හැකිය. ඒ සදහා අලුතෙන් කිසිදු දත්තයක් එකතු කිරීමේ අවශ්‍යතාවයක් නැත. - පොලිසිය උසාවිය, බන්ධනාගාරය සම්බන්ද සියලු තොරතුරු ජා.හැ. අංකය යටතේම එම දත්ත ගබඩාවටම එකතු කල හැකිය. - සියල්ල අවසානයේ V අකුරු වෙනුවට X අකුර යොදා මරණ සහතිකය නිකුත් කළ හැකිය. මෙමගින් එකම නම අපිට ෆෝම් කොළ සිය ගණනක ලිවීමට අවශ්‍ය නොවන්නා සේම රජයටද එකම දත්ත එක් එක් ආකාරයෙන් විවිධ ආයතනවල ලේඛනගත කිරීමට අවශ්‍ය නැත. මීට අමතරව මෙයින් ලැබෙන වාසි .... - එකම දත්ත විවිධ අවස්ථාවල එකතු කිරීම සඳහා රජය විසින් මුද්‍රණය කරන ෆෝම් කොළ මිලියන ගණනක් ඉතුරු කර ගත හැකිය. - ඡන්දයක් පැවැත්වීමේදී පතරංග දිග චන්ද නාම ලේඛන, චන්ද කාඩ් පත් අවශ්‍ය නැත. සෑම ඡන්ද පොළකටම ලැප්ටොප් එකක් සහ ඇඟිලි සලකුණුකියවීමේ උපකරණයක් ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකාවේ ඡන්දේ නම් කිසි දිනක ඩිජිටල් නොකළ යුතුය. - එමෙන්ම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට (Dept. of Census and Statistics ) නැවත නැවත ගෙයින් ගෙට යෑමට අවශ්‍ය වන්නේ නැත. B අකුර පමණක් නිකුත් කර ඇති අංක වලින් X අකුර ඇති අංක අඩුකිරීමෙන් 18 අඩු ජනගහනය ද, V අකුර නිකුත් කර ඇති අංක වලින් X අකුර අඩු කිරීමෙන් 18 ට වැඩි ජනගහනය ද ඉතා පහසුවෙන් ඕනෑම වෙලාවක නිර්ණය කළ හැකිය. එමෙන්ම උපන්දිනයේ සිට වසර සියයක් පිරී තවමත් X අකුර සහිත සහතිකයක් නිකුත් කර නැත්නම් ඔවුන් දීර්ඝායුෂ ඇත්තා වූ මහා පින්වන්තයෝ හෝ අතුරුදන් වූවන් ය. - පොලීස් සහතිකයක් නිකුත් කිරීමට ගත වන්නේ එය මුද්‍රණය කිරීමට යන වේලාව පමණි. - ග්‍රාමසේවකගේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල වැඩ කටයුතු ඉතා පහසු වනු ඇත. සමහරවිට ග්‍රාමසේවක වරයෙකුගේ අවශ්‍යතාවයක් නැති වීමටද ඉඩ ඇත. මෙය සරල දළ සටහනක් පමණක් බැවින් මෙවැන්නක් ක්‍රියාත්මක කිරීමේදී තවත් බොහෝ ප්‍රශ්නවලට මුහුණ දිය හැකිය. නමුත් ඒවා විසඳාගෙන මෙය කළ නොහැක්කක්ද නොවේ. කවදා හරි දවසක එහෙම වුනොත් ... ** එකම එක අංකයක් ඇත මගේ නාමයෙන් ** - කමල් ගුණතිලක -

Comments